loading

ලාංකීය හැඩතල දුන් ඉන්දියානු චිත්‍රපටය “හැපී මනී”

 
   ශ්‍රී ලාංකීය සිනමාව සදාකාලික නින්දකට පත් වෙමින් සිටිනවාදැයි සිතිය හැකි තරම් නිහැඬියාවකින් යුතුව ගෙවී ගිය යුගය නිමා වුණේ මෙරට සිනමාවට හදවතින්ම ප්‍රේම කළ මිනිසුන්ගේ මහත් වූ පරිශ්‍රමයන් මල් ඵල දැරීමක් ලෙසය. වැසෙමින්, ජරා ජීර්ණ වෙමින් තිබුණු සිනමා ශාලාවන් යලිත් රසික වසන්තයෙන් බර වී පිරී යද්දී සැගවී සිටි කුසලතා පූර්ණ නිර්මාණ කරුවන් හෙළ සිනමාව සුදීපවත් කරමින් නැගීසිටින්නට විය. මේ ගෙවෙන්නේ ඒ වසන්තයි. හෙළ සිනමාවේ ගුණාත්මක භාවය සහ වාණීජමය අගය  තව දුරටත් ස්ථාපිත කරමින් අලුත් අත්හදා බැලීම් ඔස්සේ රසික ප්‍රජාව වෙත හරවත් සහ රසවත් නිර්මාණ දායක කිරීමේ වැයමේ තවත් එක් තීරණාත්මක පියවරක් තබන්නට නියමිතයි.

   විශ්වීය සිනමාවේ නොමැකෙන සටහන් රැසක් තැබූ  බොලිවුඩය  සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂකවරුන් දෙපලක් විසින් දෙරටේ සම නිෂ්පාදනයක් ලෙස නවතම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මේ දිනවල සුදානම් වෙමින් සිටී. බුද්ධික වික්‍රමාදර හා චාමර ජනරාජ් පීරිස් ගේ සම අධ්‍යක්‍ෂණයක් ලෙසින් නිර්මාණය වන මෙම චිත්‍රපටය නම් කර තිබෙන්නේ “ හැපී මනී” ලෙසය. ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාවේද තිරගත කිරීමට අදහස් කරන මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකික අධ්‍යක්ෂක වරුන් දෙපලක් එක්වී නිර්මාණය කරනු ලබන පළමු හින්දි චිත්‍රපටය ලෙස ඉතිහාස ගත වනු ඇත.


   මෙහි  නිෂ්පාදන කාර්යය සඳහා දෙරටේ ම නිෂ්පාදක වරුන් දායක වේ. ඉන්දියාවේ ප්‍රතිභා පුර්ණ ප්‍රවීණ  රංගන ශිල්පියෙකු වන අනුපම් කෙරී මහතාට  හිමි “ඇක්ටින් ප්‍රිපෙයා” ආයතනය ද , බුද්ධික වික්‍රමාදර මහතාට හිමි  “රන්දීප මීඩියා” ආයතනය ද මෙහි නිෂ්පාදන පිරිවැය දරණු ලැබන අතර  මෙම චිත්‍රපටයේ රුගත කිරීම් මාර්තු මස සිට ශ්‍රී ලංකාව තුල ඇරඹීමට නියමිතය.


   මෙම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂණ කාර්යටත් , නිෂ්පාදන කාර්යටත් දායක වන බුද්ධික වික්‍රමාදර මහතා විසින් අනුපම් කේරි මහතා වෙත කරන ලද ඇරයුමක ප්‍රතිපලයක් ලෙස දෙරටේම කලාකරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටයේ පිටපත චාමර පිරිස් මහතාගේ රචනයකි.


   මෙම නිර්මාණයට පසුබිම සැකසෙන්නේ බුද්ධික වික්‍රමාදර මහතා, ඉන්දියාවේ අග්‍රගන්‍ය රංගන ශිල්පී අනූපම් කේර් මහතා යටතේ එතුමාගේ රංගන පාසල වන “ඇක්ටින් ප්‍රිපෙයා” රංගන පාසලේ   හැදෑරීම් කටයුතු වල යෙදුණු කාලය තුලයි. ඉන්දියාවේ සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝ පිරිසක් අධ්‍යපනය හදාරන එහි 2014 වසරේ හොඳම සිසුවා බවට පත්වන්නට බුද්ධික වික්‍රමාදර මහතාට හැකි වී ඇත. එහිදී  ශ්‍රී ලංකාවේ මනස්කාන්ත, සෞම්‍යය පරිසරය උපයොගී කරගනිමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස ඔහු විසින් ඉදිරිපත් කර තිබෙන අතර එයට සහයෝගය දීමට අනුපම් කේරි මහතා ඇතුළු පිරිස සතුට පල කර ඇත.


   මෙහි ප්‍රධාන චරිතයට ජීවය දෙන්නේ මිස් ඉන්දියා තරඟයේ දෙවැනි තැනට පත් සුරූපිණියකි. ඇය අක්ෂිතා අග්නිහෝති නමැති රංගන ශිල්පිනියයි. අනුපම් කේරි මහතා මෙම චිත්‍රපටයේ උපදේශකවරයෙකු  ලෙස කටයුතු කරන අතර ම රංගනයෙන් ද දායක වනු ඇති.  ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් ද මේ සඳහා රංගනයෙන් දායක වන අතර අශේක් හර්ජ්මාල් , භූෂාන් ධානි,ෂලකා සවන්ත්, චන්දන් ෂර්මා, කේ.ජයක්‍රිෂ්ණන් වැනි ඉන්දීය රංගන ශිල්පීන් ගේ රංගනයෙන්ද මෙම චිත්‍රපටය වර්ණවත් වීමට නියමිතය.


   ශ්‍රී ලංකාවේ පාසිකුඩා, උණවටුන, කොළඹ, හික්කඩුව, නෙළුව, නුවරඑළිය, උඩවලව හා කණ්ඩලම යන ප්‍රදේශ වලද ඉන්දියාවේ ඌටි ප්‍රදේශයේ සහ බොම්බෙ ෆිල්ම්සිටි චිත්‍රාගාරයේ ද දර්ශණ තල භාවිතා කර මෙහි රූගත කිරීම් සිදුකරයි. හැපී රනාජිත් නමැති රංගන පුහුණුකරු ද මෙම  චිත්‍රපටයට සගයෝගය දක්වනු ලබයි. ඔහු ෂාරුක් ඛාන් ගේ බොහෝ චිත්‍රපට වල ද රංගන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. ඔහු මෙම චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සඳහා ද දායක වීමට නියමිතය. මෙම චිත්‍රපටයේ කැමරා සහ තාක්ෂණික අධ්‍යක්‍ෂණය සඳහා ඉන්දීය ශිල්පීන් ට අමතරව "ඩිල් ෆිල්ම්ස්" ස්ටුඩියෝ වෙනුවෙන්  එහි හිමිකරු වන ප්‍රවීන් ජයරත්න මහතා ද සම්බන්ධ වේ.


   රන්දීප මිඩියා යනු මෙරට ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් බිහි කිරීමට මුලික වූ ආයතනයකි. ඔවුන්ගේ අත්දැකීම් බහුල නිර්මාණශීලීත්වය  මෙම නිර්මාණය සුවිශේෂී එකක් බවට පත් කරනු නොඅනුමානය. එය නොබෝ කලකින්  හෙළ සිනමාවේ අමරණිය සටහනක් තබමින් ශ්‍රී ලංකීය සිනමා රසිකයින් පමණක් නොව ඉන්දීය සිනමාලෝලීන් ද ආදරයෙන් වැළඳ ගනු ඇතැයි අපි විශ්වාස කරමු.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment