උදා වූ නව වසර හෙළ සිනමාවට නම් ඉතා සුභදායි වසරක් වන බවට නොඅනුමානයි. මෙම වසරේ තිරගත වූ සහ තිරගත වීමට නියමිත චිත්‍රපට දෙස අවධානය යොමු කරන විට එය මැනවින් පසක් වේ. මේ, එලෙසින් හෙළ සිනමාවට දායාද වන සහ දායාද වූ එකිනෙකට වෙනස් ආකාරයේ තේමාවන් රැගත් , විවිධ වින්දනීය පරාසයන් ගෙන් යුත් නිර්මාණ කිහිපයක් පිලිබඳ කෙරෙන විවිරණයයි.
පසු ගිය වසර තුළ ඓතිහාසික කතා පුවත් අලලා නිර්මාණය කෙරුණු සිනමා කෘති කිහිපයක් ම තිරගත විය. හෙළ සිනමාවට ළබැඳි ප්‍රේක්ෂක , විචාරක පිරිස එම නිර්මාණ ආදරයෙන් වැළඳ ගනු ලැබීය. ඉතිහාසය නැවත කියවන මෙවන් අපුරු සිනමා නිර්මාණ කිහිපයක් ම මෙම වසරේදීත් තිරගත වීමට නියමිතව ඇති අතර ඇතැම් නිර්මාණ මේ වනවිටත් තිරයට පැමිණ අවසන්. වීරත්වය මනුෂ්‍යතත්වයෙන් ම ඔපකල යුග පුරුෂයෙක් ලෙස ඉතිහාස ගත වූ දුටුගැමුණු රජතුමාගේ කතා වෘත්තාන්තය ඇසුරෙන් නිර්මාණය කළ “මහරජ ගැමුණු” චිත්‍රපටය මෙම වසරේ ඔබ හමුවට පැමිණි එවන් චිත්‍රපටයකි. ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදීයාගේ පළමු ඓතිහාසික නිර්මාණය වන මෙහි දුටුගැමුණු රජතුමාගේ චරිතයට පණ පොවණු ලැබුයේ යොවුන් පරපුරේ කුසලතා පුර්ණ රංගන ශිල්පියෙකු වන උද්දික ප්‍රේමරත්න විසිනි. ජැක්සන් ඇන්තනි, යශෝධා විමලධර්ම, ශ්‍රියන්ත මෙන්ඩිස් ආදී ප්‍රවීනයන්ගේ රංගන දායකත්වයද ලැබී තිබෙන මෙම චිත්‍රපටය මේ වන විටත් සිනමාලෝලීන් බොහෝ දෙනෙකු විසින් නැරඹූ චිත්‍රපටියකි.
අජාසත්ත කතා වෘත්තාන්තයට සිනමාරූපී ප්‍රවේශයක් ලබා දීමට සනත් අබේසේකරයන් විසින් ගනු ලැබූ උත්සාහය “මහරජ අජාසත්ත” නමින් සිනමා නිර්මාණයක් ලෙස හෙළ සිනමාවට දායාද වීමට නියමිතය. ඓතිහාසික සිනමා නිර්මාණ කිරීමට සනත් ඔබේසේකරයන් සතු කුසලතාව මෙම නිර්මාණය තුළින් ද දැක ගත හැකිය. මෙහි චරිත සඳහා පණ පොවන්නේ ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, ගයාන් වික්‍රමතිලක, රොබින් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි ආදී දක්ෂ රංගන ශිල්පීන් පිරිසකි.
දුලානි අනුරාධා විසින් චරිත ද්විත්වයකට පණ පොවන “අපේ කාලයේ පටාචාරා” චිත්‍රපටය සුගත් සමරකෝන් ගේ නිර්මාණයකි. මින් පෙර ඓතිහාසික චිත්‍රපට දෙකක් සිනමාවට නැගූ සුගත් එම නිර්මාණ වල නොතිබුණු හැඩ හුරුකමක් මෙම චිත්‍රපටයට දීමට උත්සහ කර ඇත. එනම් හුදෙක් ම ඓතිහාසික වෘත්තාන්තයක් රසික ප්‍රජාව හමුවට ගෙන ඒමට වඩා මේ තුළින් ඔහු උත්සහ කර ඇත්තේ ඉතිහාසය තුළින් වර්තමානය පිලිබඳ කතා කිරීමටයි. අනියත බව පිලිබඳ සියලු කාලයන්ට පොදු ධර්මතාවය ඔහු මෙම නිර්මාණය තුළින් පිළිබිඹු කර තිබේ. එම නිසා මෙම චිත්‍රපටය ඓතිහාසික චිත්‍රපටයක් ලෙස පමණක් කුලක ගත කිරීමට අපහසුය.
දරුවන් ගේ රසවින්දනය අරමුණු කරගනිමින් නිර්මාණය කළ චිත්‍රපට කිහිපයක් ද මෙම වසරේ තිරගත වීමට නියමිතය. “අපේ යාලු මාළු නමින් ”ලාල් ප්‍රියදේව සහ සුදේශ් වසන්ත විසින් අපූරු ළමා චිත්‍රපටයක් නිර්මාණය කර ඇති අතර එය පරිගණක සජීවී කරණයෙන් ද ඔපදමා ඇත. මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ ජනිත මාරසිංහ විසිනි.මේ වන විටත් සාර්ථකව තිරගත කෙරෙන මගේ යාලු මාළු චිත්‍රපටයට උණුසුම් ප්‍රතිචාර හිමි වෙමින් පවතී.
ඉන්දික ෆර්ඩිනැන්ඩස් ගේ කුළුදුල් අධ්‍යක්ෂණය වන “හෝගානා පොකුණ” ද මෙම වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපටයකි. ජයලත් මනෝරත්න , ලුෂන් බුලත්සිංහල ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය මුහුද නොදුටු ග්‍රාමීය දරුවන් පිරිසක් වටා නිර්මාණය කර ඇත.
ළමා චිත්‍රපට කිහිපයක් උදෙසාම නිෂ්පාදනයෙන් දායක වූ සුනිල් ටී. ප්‍රනාන්දු මෙවරත් වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූ “සිංහයා ” චිත්‍රපටයටයේ නිෂ්පාදන පිරිවැය දරා තිබේ. මෙයට රංගන දායකත්වය සපයනු ලබන්නේ රන්ජන් රාමනායක , දුලීකා මාරපන, මහේෂි මධුශංකා ඇතුළු කලාකරුවන් පිරිසක් විසිනි.
සමනළී ෆොන්සේකා , දසුන් පතිරණ පෙම් යුවලක් ලෙසින් ප්‍රධාන චරිත සඳහා පණ පොවන තරමක් වෙනස් ආකෘතියක චිත්‍රපටයක් ලෙස “මෝටර් බයිසිකල්” චිත්‍රපටය හඳුන්වා දිය හැක. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සහය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සිනමා නිර්මාණ කිහිපයකටම දායක වූ ශමීර රංගන විසිනි.
එරංග සේනාරත්න ගේ නවතම සිනමා නිර්මාණය නම් කර තිබෙන්නේ “නෝනේ මගේ සුදු නෝනේ ” ලෙසයි. සරළ අන්තරගතයක් සහිත මෙම හාස්‍යෝත්පාදක නිර්මාණය තුළින් විල්සන් ගුණරත්න , අනුෂා දමයන්ති , මිහිර සිරිතිලක ආදී නළු නිළියන් රැසකගේ රංගනයන් ඔබට දැකගත හැකියි.
වසරේ තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ කිහිපයක් පිළිබඳ තොරතුරු මෙසේ දිග හැරුණද තවත් බොහෝ නිර්මාණ හෙළ සිනමාවට දායාද වන්නට නියමිතව ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment