loading

පිටසක්වලින් පැමිණ පිට පිට වාර්තා බිඳ දැමූ PK


  අපූරු වෙළඳ ප්‍රචාරන උපක්‍රම භාවිතා කිරීමෙන් වෙනස් ම ආකාරයකට ප්‍රේක්ෂකයින් අතරට පැමිණි PK චිත්‍රපටය මේ දින වල සිනමා විචාරකයන්ගේ , රසික රසිකාවියන් ගේ මෙන් ම සිනමාවට සම්බන්ධ බොහෝ පිරිසකගේ කතා බහට ලක් වන චිත්‍රපටයක්. අමීර් ඛාන් සිය නිරුවත ගුවන් විදුලියකින් පමණක් වසාගත් වෙළඳ දැන්වීමෙන් ම ඒ පිළිබඳ කතා බහ ඇරඹුණා. ඉන් පසු දිගින් දිගටම ඒ පිළිබඳව විචාර,කට කතා සහ පුවත් වලින් සිනමා ලෝකය පිරී ගියා.

  පසු ගිය දෙසැම්බර් මස 19 වෙනි දින තිරගත වූ මෙම චිත්‍රපටය එතෙක් මෙතක් බොලිවුඩ් ඉතිහාසයේ නිර්මාණය වූ චිත්‍රපටයකින් ලබා නොගත් ආකාරයේ ඉහළ ආදායමක් වාර්තා කරන්නට සමත් වුණා. ලොව පුරා සිනමා ශාලා 6000ක පමණ තිරගත වූ මෙම චිත්‍රපටය පටිගත වී  දින දෙකක් ගතවන විට කෝටි 50 ඉක්මවූ ආදායමක් ලබා තිබුණා. පසු ගිය වසරේ පටිගත වූ චිත්‍රපට අතුරින් Happy New Year, Singham Returns, Kick යන චිත්‍රපට ත්‍රිත්වය ඇරුණුකොට පළමු දින දෙක ඇතුළත කෝටි 50 ඉක්මවා ගිය ආදායමක් ඉපයූ සිව්වන චිත්‍රපටය වන්නේද Pk චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය ඉපයූ මුළු ආදායම ඉන්දීය රුපියල් කෝටි 615ක්.  මින් පෙර ඩූම් 3 චිත්‍රපටය විසින් තබා තිබුණු කෝටි 540 ක ආදායම් වාර්තාව මෙමඟින් බිද වැටුණු අතර එහි සුවිශේෂීත්වය වන්නේ එම චිත්‍රපටයද අමීර් ඛාන් විසින් ම රංගනයෙන් දායක  වූ චිත්‍රපටයක් වීමයි. 
  

  රාජ් කුමාර් හිරානි විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරනු ලැබූ PK චිත්‍රපටය පිටසක්වල ජීවියෙක් වටා ගෙතුණු කතාවක්. මෙහි පිටසක්වල ජීවියාගේ  චරිතය අමීර් ඛාන් විසින් නිරූපණය කර ඇත. පොළවට පැමිණි ඔහුගේ යානයේ දුරස්ථ පාලකය යමෙකු විසින් සොරා ගැනීම නිසා ඔහුට මුහුණ පෑමට සිදුවූ සිදුවීම් පිළිබඳ සහ ඔහු විසින් පෘතුවියේ මිනිසුන් සමඟ ගනුදෙනු කරන ආකාරය පිළිබඳ නිරූපණය කෙරෙන අපූරු ජවනිකා රැසකින් සමන්විත මෙම චිත්‍රපටය Drama, Romance, Comedy, Fantasy යන සියලු ගුණයන්ගෙන් පිරිපුන් ය. එම නිසාම විවිධ රස වින්දන පරාසයන් ගෙන් යුත් නිර්මාණයක් ලෙසද මෙය පෙන්වා දිය හැක. එහෙත් මේ පිළිබඳ සිනමා විචාරකයින් නම් පෙර සිටම එතරම් සුභ වාදීව අදහස් දක්වා නොතිබුණි. එහි තේමාව එතරම් ප්‍රබල නැති බව ඔවුන්ගේ අදහස් තුළ සාරාංශ ගත වී තිබුණි. එහෙත් වාර්තා පිට වාර්තා බිද දමමින් IDMB ලකුණු 10න් 8.8ක් වැනි ඉහළ අගයක් ලබා ගත් මෙම චිත්‍රපටය 276% ලාබ ප්‍රතිශතයක් ලබාගෙන ඇත.  මෙහි ප්‍රධාන නිළිය ලෙස අනුෂ්කා ශර්මා රංගනයෙන් දායක වී තිබෙන අතර සන්ජේ දත් ද මෙහි අමීර්ගේ මිතුරා ලෙස සුවිශේෂී නිරූපණයක යෙදෙයි. මීට අමතරව බෝමන් ඉරානී, සුශාන්ත් රාජ්පුත්, වගේම සවුරබ් සුක්ලාත් මෙහි චරිතයන්ට පණ පොවනවා. අනුෂ්කා ශර්මා සහ අමීර් ඛාන් තිරයේ පෙම්වතුන් ලෙස හමුවන ප්‍රථම අවස්ථාවද මෙයයි.

  මෙහි රූගත කිරීම් සඳහා  ඉන්දියාවේ දර්ශන තල පමණක් භාවිතාකර  තිබුණු නමුත් උසස් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගනිමින්  ඉන්දීය රුපියල් කෝටි 85ක නිෂ්පාදන පිරිවැයකින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.


  මෙම චිත්‍රපටයේ තේමාවට සමාන තේමාවකින් යුත් උමේෂ් ශුක්ලා ගේ අධ්‍යක්ෂණයක් ලෙස 2012 දී තිරගත වූ  Oh My God චිත්‍රපටය නවත්වන ලෙස PK කණඩායම එහි අධ්‍යක්ෂකවරයාට ඉන්දීය රුපියල් කෝටි 8ක් දීමට උත්සහ කල බවට බොලිවුඩයෙන් කට කතාවක් අසන්නට ලැබුනද බොහෝ දෙනා පවසන්නේ එය විස්වාශ කිරීමට අපහසු බවයි.


  කෙසේ වෙතත් ලංකාවේ දී ද තිරගත වූ මේ සිනමා නිර්මාණය වටා අතිමහත් රසික පිරිසක් එක් වුවා. එම නිසා එය බොලිවුඩ් සිනමාවේ ඉතිහාස ගත වන චිත්‍රපටයක් වන බවනම් නොඅනුමානයි.

Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment