loading

"කලාවෙන් යමක් උපයා ගැනීමට වඩා වටින්නේ කලාවට යමක් උපයා දීමයි" කල්හාරි පවසයි


   ජීවිතය කියන්නේ ගීතයක් වගේ අපූරුවට ගලාගෙන යන දෙයක් නොවුණත් ගීතය නිසා ජීවිතයට ලස්සන හැඩ තල එකතු වෙනවා. ඒ ලස්සන හැඩ තල ළමා කාලයේ ඉඳලම අපූරුවට මතු කරගත්ත මදුර හඬක හිමිකාරියක් විදියට රසික හදවත් වල ආදරයෙන් රැදුණු නමක් තමයි චම්පා කල්හාරි කියන්නේ.  ඒ හඬ , ඒ රුව ශ්‍රී ලාංකික ගීත රසිකයන්ට හුඟක් සමීප වෙන්නේ හින්දි ගීත තුළින්.


   ඇය කුඩා කල පටන් ම සමාජශීලී කෙනෙක්.ඇගේ  ගායන හැකියාව සංගීත විශාරදයෙක් වුණු ඇගේ පියාගෙන් ලද දායාදයක්. එක සහෝදරයෙක් පමණක් සිටින කුඩා පවුලේ එකම දියණිය වුණේ ඇය. පුංචි පවුලත් එක්ක ගෙවුනු ඇගේ සමනළ විය වැඩි පුරම ගෙවුනේ ගුරු අභ්‍යාස විද්‍යාලය තුළ. ඇගේ මව එහි සේවය කළ නිසා එහි එන යන බොහෝ අයගේ ඇසුර ලබමින් බොහොම සමාජශීලි මිත්‍රශීලී ජීවිතයක් ගත කරන්නට ඇයට හැකි වුණා. ඇය,  මිශ්‍ර පාසලක් වුණ ජනාධිපති විද්‍යාලයේ සිටි බොහෝ සුහදශීලී සිසුවියක් වුණා.


   කුඩා කල පටන්ම ඇය කාර්ය බහුල චරිතයක්. විවහා මංගල උත්සව වල ජය මංගල ගී ගයමින් කලාවට අත් පොත් තැබූ පුංචි කල්හාරිගේ ගායන දිවියේ වැදගත් සංධිස්තානයක් වුණේ ගුවන් විදුලි සංස්ථාවේ එවකට පැවතුනු ළමා ශිල්පීන් තේරීමේ පරීක්ෂණය යි.


     ඇය නොසිතූ මොහොතක ඇගේ වාසනාව ඇගේ ජීවිතයට ඇතුල් වුණේ අහඹුවක් විදියට. දිනක් ඇය පියා සමඟින් ගුවන් විදුලි සංස්ථාවේ ආපනශාලාවේ රැදී සිටියදී ඇයට අසන්නට ලැබුනේ හිත සතුටින් පුරවන ආරංචියක්. එහිදී අහම්බයෙන් මුණගැසුනු පුදගලයෙක් ගුවන් විදුලි සංස්ථාවේ ළමා ශිල්පීන් තේරීමේ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඇයව ඒ සඳහා ඉදිරිපත් කලේ නැතිද යනුවෙනුත් ඇගේ පියාගෙන් විමසා තිබෙනවා. එම පුද්ගලයා කවුරුන්දැයි ඇයට හරි හැටි මතක නැතත් ඔහු පැවසූ තොරතුරු නිසා එම තරඟයට ඉදිරිපත් වූ ඇය එම තරගයෙන් ලංකාවෙන් ම වැඩිම ලකුණු ලබා ගැනීමට සමත් වුන බව පවසා සිටියා.


   චම්පා පවසන පරිදි කලාව වෘත්තිය කරගන්නවාට වඩා කලාව වෙනුවෙන් යමක් කිරීමට උත්සහ කිරීම වැදගත්. ඇය ගායිකාවක් වුවත් ඇගේ සිහිනය වුනේ වෛද්‍යවරියක වීම. කලාකාරයෝ හිඟන්නෝ කියලා සමාජයේ තිබූ මතය නිසා ඇය උත්සහ කළේ අධ්‍යාපනය හොඳින් අවසන් කිරීමට. එහෙත් එම අවස්ථාව ගිලිහී යෑම ගැන ඇය ඉන්නේ කණගාටුවෙන්. එම නිසාම ඇය අධ්‍යාපනයට නැවතත් යොමුවී සිටිනවා


   ඇගේ හඬින් ඇහෙන හින්දි ගීත රසිකයින්ට ඉතා හුරු පුරුදුයි. එය ඇය සංගීත ලොවට පැමිණීම සදහා භාවිත කල අවියක් නොවන බව ඇය පවසනවා. හින්දි ගීතය සමඟ ආත්මීය බැදීමක් ඇති බව ඇය විශ්වාස කරනවා. එමෙන්ම ඇගේ පියාගෙන් නිතර ඇසුනු ශාස්ත්‍රීය සංගීතය හුඟක් දුරට හිංදුස්තානි සංගීතයට සමීප නිසා ,ඇයට නිතර ඇසුනේ හින්දි වචන නිසා මෙන්ම ඇය කුඩා කල පටන් හින්දි ගීත ඇසීමට ප්‍රිය කළ නිසා ඇය හින්දි ගීත ගායනයට ප්‍රිය කරන බව සහ එයට යොමු වූ බව ඇය පවසනවා

   ඇය කලාව දකින්නේ මිල කළ නොහැකි දෙයක් ලෙසයි. ඇය පවසා සිටින්නේ වෙළෙන්ඳන් මෙන් කලාව අලෙවි කරන වර්තමාන ගායිකාවක් වෙන්නට ඇයට උවමනාවක් නැති බවයි. එමෙන්ම කලාව විකිණීමෙන් එහි ගුණාත්මක බව හීන වන බවත් කලාව තිබිය යුත්තේ වින්දනය කිරීමට මිස විකිණීමට නොවන බවත් ඇය පවසනවා.


   වර්තමාන ගීත කලාව ගැන කතා කරමින් ඇය පවසන්නේ නිර්මාණ අතර වෙනුවට වර්තමානයේ තරඟය පවතින්නේ පුද්ගලයින් අතර බවයි. නිර්මාණ අතර තරඟකාරීත්වය තිබීමෙන් වඩාත් හොඳ නිර්මාණ ඇති වන බැවින් ඇය එවන් තරඟ වලින් ජය පමණක් නොව පරාජයද ලැබීමට කැමති බව පවසනවා. එමෙන් ම ඇය පෙන්වා දෙන්නේ කලාකරුවන් ප්‍රසංග සංවිධායක වරුන්ට කතා කරමින් අවස්ථා ඉල්ලීමට තරම් තත්වයකට පත් වීම කණගාටු දායක බවයි 


   ඇගේ හඬ අනුකරණය කරමින් ක්ෂේත්‍රයට පැමිණි බොහෝ අය හොඳ නිර්මාණ සමඟ ඉදිරියට පැමිණීම ගැන ඇය සතුට පල කරනවා. ඇය කියා සිටියේ ඔවුන්ගෙන් ඇයටත් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙන බවයි. වසර තුනක් යන තුරුම ඇය පුද්ගලික කරුණක් නිසා කාර්ය බහුල බැවින් ඇයට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් කිරීමට නොහැකි වෙනු ඇතැයි ඇය සිතනවා.


   රියැලටි වැඩසටහන් වල පවතින ප්‍රමිතිය ගැන ඇය සෑහීමකට පත් වන්නේ නෑ. එහෙත් දුෂ්කර පළාත්වල සිටින සැගවුණු දස්කම් ඇති අයට ඉදිරියට පැමිණීම සඳහා රියලිටි වැඩසටහන් වලින් ලැබෙන අවස්ථාව ඇය අගය කරනවා. එය විටෙක වාසනාවක් වගේම අවාසනාවක්ද බවත් සැබෑ දක්ශයින් පරදින අවස්ථා පවා දැක ඇති බවත් ඇය කියා සිටිනවා.


   දේශපාලනයේදී වෘත්තීය මට්ටමෙන් ලැබෙන ආරාධනා පිළිගන්නවා මෙන් ම රට වෙනුවෙන් කැප වෙන ඕනෑම පුද්ගලයෙකුට සහය දීමද පක්ෂ පාට බේදයකින් තොරව සිදුකරන බවයි ඇය පවසන්නේ. 

 
   විදේශ සංචාර කිහිපයක නිරත වීමට බලාපොරොත්තුවෙනුයි ඇය මේ දින වල පසුවන්නේ.චිත්‍ර නැටුම් වයලීන් ගිටාර් තබ්ලා මෙන්ම හින්දි භාෂා දැනුමද දරුවන්ට  දායාද කරන ඇගේ සෞන්දර්ය ආශ්‍රමයේ වැඩ කටයුතු කරමින් ප්‍රසංග සඳහා සහභාගී වෙමින් ඇය කලාව සමඟ සෙමින් වුවත් රසවත් ගමනක් යමින් සිටිනවා.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment